මහජන සභා වලින් සහභාගීත්ව හා සාකච්ඡාමය ප්‍රජාතන්ත්‍රවාදය වෙත – ලිපි කැඳවීම

‘බලය දියවන්නාවෙන් එළියට’ යන්න 2022 අප්‍රේල් සිට අගෝස්තු මස දක්වා දිග හැරුණු අරගලයේ ප්‍රධාන සටන් පාඨයක් විය. එහිදී මහජන සභාවන් පිළිබඳ අදහස කරළියට පැමිණීම සිදුවන්නේ, අපගේ දේශපාලන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් ගැඹුරු කිරීමටත්, ඡන්දයෙන් හා නිල බලයෙන් යන දෙයාකාරයෙන් ම පත්වන නිලධාරීන් ජනතාවට වගවීම සහ ඒ වෙනුවෙන් දේශපාලන තීරණ ගැනීමේ ක්‍රියාවලීන් තුළ ඍජු මහජන සහභාගීත්වය තහවුරු කිරීමත් යන ඉල්ලීම් දිනාගැනීම සඳහා වූ සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙසයි. එදා සිට මෙම අදහස පිළිබඳ – විශේෂයෙන් ම එහි දෘෂ්ටිවාදය මහජන සභාවල ව්‍යුහය සහ එහි ප්‍රායෝගික භාවිතය පිළිබඳ – බොහෝ වාද විවාද සහ සාකච්ඡා සිදුව තිබේ. එසේම, රටේ සියලු ප්‍රදේශවල විශේෂයෙන් ම උතුරු-නැගෙනහිර පළාත් ඇතුළත්ව අරගලය හා ඊට අනුබද්ධිතව සිදුුවූ සහ සිදු වෙමින් පවතින විරෝධතා ව්‍යාපාර මර්දනය කෙරෙන අවස්ථාවක මෙවැනි මැදිහත්වීමක අවශ්‍යතාවය වඩාත් තදින් දැනේ. මෙබඳු විරෝධතා ව්‍යාපාර පැවතීම තුළින් ඇත්තෙන්ම සන්නිවේදනය වන්නේ ද මහජන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට, ඒවාට සවන් දීමට සහ ඒ පිළිබඳ සාමකාමී සාකච්ඡා සහ විවාද කිරීමට මණ්ඩප නොමැති වීමේ අර්බුදයයි. ඒ අනුව මෙවැනි සන්දර්භයක් තුළ මෙම සංවාදයට දායකත්වයක් සැපයීම සඳහාත් ශ්‍රී ලංකාවේ හා වෙනත් රටවල මින් පෙර සහභාගීත්ව හා සාකච්ඡාමය ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව සිදුකොට ඇති අත්හදා බැලීම් පිළිබඳව අවබෝධයක් ලබාගැනීම සඳහාත් මහජන සභා අරබයා දිගු කලක් තිස්සේ දිග හැරෙමින් පවතින්නා වූ ශාස්ත්‍රීය කතිකාවන්, විවාද සහ සංවාද පිළිබඳ සන්දර්භය තුළ වත්මන් සාකච්ඡාව රාමු කිරීම සඳහාත් පොලිටි (Polity) සඟරාව විසින් මෙම ලිපි කැඳවීම සිදුකරනු ලබයි.
ආණ්ඩුකරණය තුළ මහජන සහභාගීත්වය පිළිබඳ සංකල්පය ග්‍රීක නාගරික රාජ්‍යය තරම් අතීතයට දිව යන්නකි. ඒ පිළිබඳ මෑත කාලීන සංවාද සිදුවීම ආරම්භ වන්නේ 1960 දශකයේ සිටය. එහිදී මෙම කතිකාව ගොඩනැගුණේ, පුරවැසියා සහ රාජ්‍යය අතර විශ්වාසය සහ සුජාතභාවය පිළිබඳ පැවැති අර්බුදයල වංචාව – දූෂණය- විනිවිදභාවයෙහි අවමබව සහ ජනතාවගේ අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්වීමේ මඳ බව යන කරුණු හේතුකොටගෙන ආණ්ඩුකරණ ආයතන පිළිබඳව හටගත් ගැඹුරු කළකිරීමේ සන්දර්භය තුළයි. ඒ අනුව මෙම සංවාදවල ප්‍රතිඵලයක් ලෙස විවිධාකාර ආයතනික යාන්ත්‍රණ ගණනාවක් කරළියට පැමිණ ඇති අතර ඉන්දියාවේ ග්‍රාම් පංචායත් සහ බ්‍රසීලයේ සහභාගීත්ව අයවැය සකස් කිරීම ඒවාට කදිම නිදසුන්ය. එසේ ම, සහභාගීත්ව තීරණ ගැනීමේ අත්දැකීම් ශ්‍රී ලංකාවට ද ඇතත් ඒවා ප්‍රධාන වශයෙන්ම සංවර්ධනය මූලික කරගත් අත්දැකීම්ය. ගල්ඔය සහ මහවැලි ව්‍යාපෘති තුළින් නිර්මාණය වූ ගොවි සංගම්ල ප්‍රාදේශීය සභා විසින් සම්බන්ධීකරණය කරනු ලබන සහභාගීත්ව සංවර්ධන සැලසුම් සහ උතුරු-නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක වන නිවාස හිමිකරුවන් විසින් සිදුකරනු ලබන නිවාස නැවත ගොඩනැඟීමේ ව්‍යාපෘතිය යනාදිය නිදසුන් ලෙස හැදින්විය හැකි ය. මෙවැනි අත්දැකීම් සහ ඊට අනුබද්ධිතව ගොඩනැඟී ඇති ශාස්ත්‍රීය දැනුම වෙත එළඹීමෙන් බොහෝ දේ උගත හැකි බව අපගේ විශ්වාසයයි.
මෙම වෙළුම සඳහා යෝජිත තේමා අතර පහත ඒවා ඇතුළත් වුවත් ඊට පමණක් සීමා වීම අපේක්ෂා නොකෙරේ:

■ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය වඩා ගැඹුරු සහ සහභාගීත්ව එකක් කළ හැකි ආයතනික ආකාර මොනවාද?
■ එවැනි ආයතනික රාමුවක් තුළින් වඩාත් සාර්ථකව ආමන්ත්‍රණය කළහැකි ගැටලු මොනවාද? සාර්ථක හා අසාර්ථක විය හැක්කේ මොනවාද?
■ මෙවැනි අත්දැකීමක් සාර්ථක කරගැනීමට පූර්ව කොන්දේසි තිබේද? එසේ නම් ඒ මොනවාද?
■ මහජන සභා වෙනුවෙන් වූ ලාංකීය සංවාදය තුළ එය සංකල්පගත කර ඇත්තේ කෙසේද?
■ පන්තියල කුලයල වාර්ගිකත්වයල ස්ත්‍රී-පුරුෂ භාවයල ලිංගිකත්වය වැනි සාධක මත පදනම්ව සමාජයේ නිර්මාණය වී ඇති බල ධූරාවලීන් මෙම සභා තුළ ප්‍රතිනිෂ්පාදනය නොවීමට වගබලා ගන්නේ කෙසේද? සමාජයේ වඩාත්ම ආන්තීකරණයට ලක්වූ ප්‍රජාවන් වල සහභාගීත්වය උපරිම කිරීමට නම් මෙම සභා කෙසේ සකස් විය යුතුද?
■ සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සෙසු රටවල් වල අත්දැකීම කෙබඳුද?


ඔබේ යෝජනා සහ ලිපි සැප්තැම්බර් මස 15 දිනට පෙර සංස්කාරකවරු වෙත පහත ලිපිනය ඔස්සේ යොමුකළ හැක: polity@ssalanka.org        

Share This